Tuesday, December 1, 2015

ගොනු පද්ධති (File Systems)















ගීතයක් ඇසීම, චිත්‍රපටයක් නැරඹීම, ලිපියක් ලිවීම, ක්‍රමලේඛයකින් (program) වැඩ ගැනීම යනු එදිනෙදා ජීවිතයේ පරිගණක සමඟ කරන ගනුදෙනු කිහිපයකි. ගොනු (files) ඒ සැම අවස්ථාවකදීම ඔබ නිසැකවම භාවිතා කල වදනකි. ගීත හෝ ශබ්දය  ගබඩා කරගැනීම සඳහා mp3, අනුරූපන (images) සඳහා jpg, bmp ,png, පාඨ (text) සඳහා txt, docx , odt යනාදිය පොදු ජනයා අතර වඩාත් ජනප්‍රිය ගොනු ආකෘති වේ. මේ අයුරින් බලන කල ගොනුවක රඳවා තබාගන්නා තොරතුරු දෙආකාරයකට වෙන් කර ගත හැක.

 1.      Program – මුලාශ්රක කේත (source code), වස්තු කේත (object code), විධානීය කේත (executable code)
2.      Data – පාඨ (text), අනුරූපන (image), ශ්‍රව්‍ය(audio), දෘශ්‍ය(video)
නිතර භාවිතයට ගන්නා මෙම ගොනු යන සංකල්පයට හේතු වූ කාරණා කිහිපයක් පහත දැක්වේ.

o    පරිගණකයේ ප්‍රධාන මතකය වනනේ සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) මතකයයි. මෙම මතකය ක්‍රියාවලි අතර බෙදී යන නිසා එයට එක් ක්‍රියාවලියක් වෙනුවෙන් ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් රඳවා ගැනීමට නොහැකිවීම.

o    සසම්භාවී ප්‍රවේශ මතකය නෂ්‍ය (volatile) මතකයක් වේ. එම නිසා එහි තිබෙන තොරතුරු එම තොරතුරු අයත් ක්‍රියාවලිය අවසානයේ මතකයෙන් ඉවත් කෙරේ. තොරතුරු ස්ථීර ලෙස තබා ගැනීමට ගොනු අවශ්‍ය වේ .

o    ක්‍රමලේඛ කීපයකට එකවිට එකම තොරතුරට ප්‍රවේශනය වීමට ඇති අවශ්‍යතාවය.

මේ ප්‍රශ්න සඳහා විසඳුමක් ලෙස තොරතුරු කොටස් ගොනු  ඒකක වශයෙන් දෘඩ තැටි (hard disk) වැනි බාහිර මාධ්‍යයක ගබඩා කිරීම සිදු කරනු ලබනවා.දෘඩ තැටි (hard disk) තුල විශාල තොරතුරු ප්‍රමාණයක් ගබඩා කිරීමටත්, අනෂ්‍ය මතකයක් බැවින් දිගු කල් පවත්වා ගැනීමටත්, අවශ්‍ය පරිදි එකම ගොනුව එකවිට ප්‍රවේශනය කිරීමටත් හැකියාව තිබේ. ඒ අනුව පරිශීලකයාගේ දෘෂ්ටි කෝණයෙන් ගත් කල ගොනුවක් යනු ද්විතීයීක ආචයන මාධ්‍යයක (secondary storage media) “තොරතුරු“ රැඳවිය හැකි කුඩාම ඒකකය වේ.  මෙහෙයුම් පද්ධතිය(OS) මගින්ම හෝ වෙනත් බාහිර මෘදුකාංගයක ආධාරයෙන් ගොනු කියවීම, ලිවීම හෝ සංස්කරණය කිරීම කල හැකි  වේ. නමුත්, මෙහෙයුම් පද්ධතියකට තනිව හැසිරවිය හැකි ගොනු වර්ග පද්ධතියෙන් පද්ධතියට වෙනස් වේ.

 මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතයෙන් බලන කල ගොනුවක් යනු බිට් (bit) හෝ බයිට් (byte) හෝ පේලි (lines) හෝ රෙකෝඩවල (records) අනුක්‍රමනයක් පමණකි.මෘදුකාංගයක් හරහා මේවා කියවා තේරුම් ගැනීම හා වැඩ ගැනීම එම ගොනුව සාදන්නා හා පරිශීලකයන් සතු කාර්යයකි. නමුත් ගොනු කළමණාකරණය කිරීම මෙහෙයුම් පද්ධතියක කාර්ය භාරය වේ. ගොනු වල ආකෘතිය (structure), නාමකරණය (naming), ප්‍රවේශ වන ආකාරය (access), භාවිතය (usage), ආරක්ෂාව (protection) හා තවත් බොහෝ දේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණයේදී තීරණය කරනු ලබනවා.එබැවින්, මෙහෙයුම් පද්ධතියෙහි ගොනු සමඟ ගනුදෙනු කරන කොටස, ගොනු පද්ධතිය හෙවත් File System එක ලෙස හැඳින්වේ.
මින් ඉදිරියට මෙම ගොනු පද්ධති පිලිබඳ සවිස්තරාත්මක ලිපි පෙලක් රචනා වී ඇත. එහි මුල් කොටස ලෙස මෙම ලිපියෙන් ගොනු පද්ධතියක එක් ප්‍රධාන කොටසක් වන ගොනු හා ඒ හා සම්බන්ධ උපලක්ෂණ, මෙහෙයුම්, සුරැකුමි විධි හා ප්‍රවේශ යාන්ත්‍රණ පිලිබඳ විග්‍රහ කෙරේ.

ගොනු (Files)
ගොනු වර්ග (File Types)






ගොනු වර්ග
පද්ධතියකින් හඳුනාගන්නා ගොනු, වර්ග තුනකට බෙදා වෙන් කිරීමට හැකිය. ඕනෑම ගොනුවක් මෙම වර්ග තුනෙන් එකකට අයත් වුවත් මෙහෙයුම් පද්ධති විසින් මෙම මූලික වර්ග තුනේ විවිධ අනුවාද භාවිතා කරයි.

සාමාන්‍ය ගොනු (Regular Files)
සාමාන්‍ය ගොනු වර්ග දෙකකි.

o    ඇස්කි ගොනු හෙවත් පාඨ ගොනු (ASCII / Text Files)

මෙම ගොනු දත්ත ගබඩා කරන්නේ ඇස්කි අනුලක්ෂණ (ASCII characters) වශයෙනි. සරල පාඨ ගොනුවක් මෙයට හොඳම උදාහරණය වේ. එහි තොරතුරු තිබෙන්නේ විවිධ දිගෙන් යුත් පේලි ලෙසයි. සමහර පද්ධතිවල මෙලෙස පේලි කැඩීමට කැරේජ් පුනරාගමනය (carriage return) යන ඇස්කි අනුලක්ෂණය භාවිතා කරයි. අනෙකුත් පද්ධතිවල කැරේජ පුනරාගමනය හා පේළි යැවුම (line feed) යන දෙකම භාවිතා කරයි (උදා: windows). මෙම ගොනුවල ප්‍රධාන වාසිය වන්නේ මේවා දිස්වන ආකාරයෙන්ම මුද්‍රණය කල හැකි වීමයි. ඒවගේම පාඨ සංස්කාරකයක් (text editor) භාවිතා කර මෙම ගොනු පහසුවෙන් සංස්කරණය කල හැකි වේ.

o    ද්වීමය ගොනු (Binary Files)

ඇස්කි නොවන ඕනෑම සාමාන්‍ය ගොනුවක් ද්වීමය ගොනුවක් වේ. මෙම ගොනු මුද්‍රණය කලහොත් ලැබෙන්නේ කිසිදු තේරුමක් නැති අකුරු ගොඩකි. සාමාන්‍යයෙන් මෙම ගොනුවලට ඒවා හසුරුවන මෘදුකාංග වලට විශේෂී වූ අන්තර් ව්‍යුහයක් ඇත. විධානීය ගොනු (Executable files) මෙයට හොඳම උදාහරණයකි. දකුණු පස දැක්වෙන්නේ යුනික්ස් (UNIX) පද්ධතියේ ක්‍රියාකරවිය හැකි ගොනුවක ව්‍යුහයයි. ද්වීමය ගොනුවක් යනු බයිට අනුක්‍රමනයක් පමණක් වුවත් එම ආකෘතියට අනුකූලව ගොනුවක් ගොඩ නැගී නොමැති නම් යුනික්ස් මෙහෙයුම් පද්ධතියට එය ක්‍රියාකරවීමට නොහැකි වේ.











නාමාවලි ගොනු (Directory Files)
පරිගණකයේ අපගේ ගොනු සංවිධානය කර තබා ගැනීමට අපි ගොනු නාමාවලි (directories) භාවිතා කරනවා. ගොනු නාමාවලියක් යනුද මෙහෙයුම් පද්ධතිය මට්ටමෙන් බලන කල තවත් එක් ගොනුවක් පමණි. විශේෂත්වය වන්නේ මෙහි රඳවා තිබෙන්නේ අනෙකුත් ගොනු හා ගොනු නාමාවලි සොයා ගැනීමට උදව් වන දත්තයි. කාර්යක්ෂමව ගොනු හා ගොනු නාමාවලි සොයා ගැනීම උදෙසා මෙම දත්ත ගබඩා කරනු ලබන්නේ ද්වීමය ආකෘතියෙනුයි.

විශේෂ ගොනු (Special Files)
මෙම ගොනු “උපක්‍රම ගොනු” (device files) යනුවෙන්ද හැඳින්වේ. පරිගණකයට සම්බන්ධ කර ඇති පර්යන්ත උපක්‍රම (peripheral devices) සමඟ වැඩ කිරීමට මෙම විශේෂ ගොනු භාවිතා කරයි.

o    අනුලක්ෂණ විශේෂ ගොනු (Character Special Files)
    අනුලක්ෂණ වශයෙන් දත්ත හසුරුවන උපක්‍රම සමඟ වැඩ කිරීමට භාවිතා කරයි.

උදා: ටර්මිනල (terminals), මුද්‍රක (printers), ජාල (networks)

o    කට්ටි විශේෂ ගොනු (Block Special Files) 

  කට්ටි වශයෙන් දත්ත හසුරුවන උපක්‍රම සමඟ වැඩ කිරීමට භාවිතා කරයි.

උදා: දෘඩ තැටි, flash drives


යමක් ඉගෙන ගැනීමට හැකි වූනා නම්, වැඩේ හොඳ නම් comment එකක් දාලම යන්න...

No comments:

Post a Comment